gossip lanka news line gossip lanka news line
gossip lanka

වට්ටක්කා කිලෝ 4කට වැසිකිළි වාරයයි -එළවළු ගොවි ඛේදය























වට්ටක්කා කිලෝ 4ක් අලෙවි කිරීමෙන් පසු එක් වරක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළියේ මුත්‍රා කිරීමට හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටී.

එළවළු මිල පහත වැටීම නිසා ගොවීන් පත්ව ඇති තත්ත්වය පැහැදිලි කරමින් නාමල් කරුණාරත්න මහතා මේ බව දඹුල්ලේ දී 24 දින මාධ්‍ය හමුවක් පවත්වමින්   ප්‍රකාශ කළේය.

අළුයම් කාලයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  එළවළු රැගෙන එන ගොවීන්ට දවස පුරාම ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට සිදුවන බවත් එළවළු ඉතාමත් අඩු මුදලකට අලෙවි වන බවත් බොහෝ එළවළු අලෙවි නොවන බවද සඳහන් කර සිටී. එමෙන්ම උදෑසන සිට ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටින ගොවියෙකු සවස් වන විට අඩුම තරමේ අවස්ථා හතරක් වත් වැසිකිළි පාවිච්චි කරන බවද  එක් වරකට රුපියල් 20ක මුදලක් ආර්ථික මධ්‍යස්ථානය වැසිකිළි පාවිච්චියේදී අය කරන බව හෙතෙම සඳහන් කළේ ය. ඒ අනුව මේ දිනවල වට්ටක්කා  කිලෝවක තොග මිල රුපියල් පහක් බවත් එක් අවස්ථාවකට වට්ටක්කා  ගොවියකු කිලෝ 4 ක ප්‍රමාණයක් අලෙවි කොට වරකට මුත්‍රා කිරීමට වැසිකිළියට යා යුතු බව සඳහන් කළේය.

රජය පොහොර පොරොන්දුව බොරුවක්

එළවළු ගොවියා සඳහා රජය මගින් රුපියල් 1500කට පොහොර  මිටියක් ලබාදෙන බව ප්‍රකාශ කළ ද මෙතෙක් වෙළෙඳපලේ හෝ කිසිම ස්ථානයක ගොවීන්ට රුපියල් 1,500 ක මිලකට පොහොර මිල දී ගැනීමට නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
වෙළෙඳසැල් හිමියන් කිසිම ආකාරයකින් පොහොර මිල අඩු කර නොමැති බවත් පොහොර ගෙන්වන හා ආයතනවලින් එවැනි අඩු මුදලකට පොහොරක් ලබාදී නැති බව වෙළෙන්දන් පවසන බවද නාමල් කරුණාරත්න මහතා සඳහන් කර සිටී.
වර්තමානයේ ගොවියා එළවළු ගොවියා මෙන්ම වී ගොවියා අද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බව මෙම මාධ්‍ය හමුවේ දී නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා.

  "හම්බන්තොට ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල ලබන තිස් වැනිදා වන විට වගා කන්නේ ආරම්භ වෙනවා. අවශ්‍ය මඩ පොහොර තාමත් ඇවිල්ල නෑ. වී හැරුණු කොට අනෙකුත් සියලුම ගොවීන්ට රුපියල් 1500 පොහොර මිටියක් ලබා දෙන්න ආණ්ඩුව වැඩ පිළිවෙළක් සකස් කළා. පහුගිය හත් වෙනිදා ඉඳලා ඒක ක්‍රියාත්මක යි කියලා තමයි ආණ්ඩුව කිව්වේ. දැන් සති දෙකකුත් අවසන් වෙලා තියෙනවා හැබැයි තවමත් ඒ මිල ගණන් වලට ගොවියට  පොහොර ගන්න නෑ. තැන තැන තියෙනවා ඒවා සීමා සහිතයි".

"දැනට පොහොර රටපුරා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නෙ ඒවාත් මිශ්‍ර  පොහොර හැටියට තමයි විකුණන්නේ මිශ්‍ර පොහොර මේ ආකාරයෙන් විකුණන්නේ මිල සීමාවක් නැති නිසා. උඩරට ගොවියා 95% ක්ම පාවිච්චි කරන්නේ මේ මිශ්‍ර පොහොර යුරියා පොහොර එම් ඕ පි  පොහොර ටි එස් පි පොහොර  පාවිච්චි කරලා තමයි මේ සියලුම පොහොර වර්ග හදන්නේ හැබැයි මේ හැම පොහොරක් ම එකම මිලක් වෙනකොට මේ පොහොර ටික කලවං වෙනකොට කොහොමද මිල වැඩි වෙන්නේ."
 "රජයේ බීජ ගොවිපලවල්වලට  පොහොර  නිකුත් කෙරුවේ ලක් පොහොර සමාගමෙන්.  හැබැයි මේ සැරේ ලක් පොහොර සමාගම ප්‍රතික්ෂේප කරනවා. ඒ අය කියන්නේ වෙනස් සමාගමකින් ගන්න කියලා. පොලොන්නරුව බීජ ගොවිපල පැල්වෙහෙර බීජ ගොවිපොල කුණ්ඩසාලේ කරදියනාරු අම්පාර ඇතුළු රටේ රජයේ බිජ  ගොවිපලවල් පොහොර නැතිව අසීරුවට  පත්වෙලා".

ආණ්ඩුව අපිට කොකා පෙන්නුවොත් අපි ආණ්ඩුවට කොකා පෙන්නනවා

  "මෙම බීජ ගොවිපලවල ක්‍රියාකාරිත්වය අඩාල කරලා. ඒවත් පෞද්ගලික ආයතනවලට විකිණීමේ උපක්‍රමයක් තමයි සකස් කරමින් ඉන්නේ .අපේ ගොවියා විදේශීය බීජ මතම යැපෙන්න තමයි මේ හදන්නේ. ඒ වගේම අද ගොවියා බරපතළ අර්බුද රැසකට මුහුණ දීලා තියෙන්නේ."

   "අද යාපනයේ ගොවියා වතුර නැතුව බොහොම දුෂ්කර ක්‍රියා කරලා තමයි එළවළු ටික වගා කරලා අස්වැන්න රටට ගෙනල්ලා දෙන්නෙ හැබැයි යාපනයේ ගොවියා ගැන ආණ්ඩුවේ කිසිම කෙනෙක් හොයා බලන්නෙ නෑ."

"ආණ්ඩුව ගොවියාට තවදුරටත් කොකා පෙන්නවන්න ගියොත් අපේ ගොවීන් එකතුවෙලා ආණ්ඩුවට කොකා පෙන්නනවා ඒ නිසා මේ ආණ්ඩුව  ගෙදර යවන වැඩපිළිවෙළත් ගොවීන් එක්ක අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ගොවීන්ට අපි දායකත්වය ලබා දෙනවා" යැයි පැවසීය.

එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තුව පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ වැව් තාවුල්ලට හරක් පට්ටි කිහිපයක් එකවර පැමිණීමෙන් පසුව ඇතිවන සිද්ධියක් මෙන් ඔවුනොවුන් ඇණ ගන්නා බවත් එමෙන්ම හරක් පට්ටියේ සිටින නෑම්බියන් ට පොරකන කණ්ඩායමක් බවට පත්ව ඇති බව සඳහන් කළේය. එමෙන්ම කැබිනට් මණ්ඩලය  ගෙරි හමකට මැදි වූ බලු රෑනක් මෙන් තත්ත්වයට පත්ව ඇති බව කීවේය.

වර්තමානයේ ගොවියාට සිදුව ඇති ඉරණම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට කතා කිරීමට  කිසිදු අයිතියක් නොමැති බවත් ඔවුන් බලයේ සිටි කාලයේ පවා ගොවියා විනාශ කළ බව ද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

ගොවියාට සාධාරණය ඉටුකර නොදෙන්නේ නම් ආණ්ඩුව ගෙදර යන තැනට ගොවියා උනන්දු කරවන බවද  ජන අරගලය ගොඩනඟන බවත් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කර සිටියේය.
මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්  ටි .බී .සරත් මහතා ඇතුළු කිහිප දෙනෙකුම අදහස් ප්‍රකාශ කළහ.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල වාර්තාකරු


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka