බෞද්ධ සිද්ධස්ථානය අසල හින්දු කෝවිලක් ඉදිකර පොංගල් උත්සවයක් පවත්වයි





















මුලතිව් තන්නිමුරුප්පුව කුරුදුමලේ බෞද්ධ සිද්ධස්ථානය අසල පළාතේ හින්දු බැතිමතුන් විසින් ඉදිකරණ ලද හින්දු කෝවිලේ පලමු පොංගල් උත්සවය හා දේව පූජාව පසුගියදා පැවැත්වුණි.

මීට මාසයකට පමණ ඉහතදී පුරා විද්‍යා නිලධාරීන් පිරිසක් මේ ස්ථානයේ කාර්යාලයක් පිහිටුවීමට බුදු පිළිමයක්ද සමග ගිය අවස්ථාවේදී මුලතිව් පළාතේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් පිරිසක්
විසින් ඔවුන්ව ආපසු හරවා එවනු ලැබීය.

ඒ සමගම ඔවුන් මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට එම ස්ථානයේ පුරා විද්‍යා කාර්යාලයක් විවෘත කළහොත් පළාතේ ජනතාව කුපිත වී අනවශ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් එය තාවකාලිකව නවතා දමන මෙන් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටියහ.

පොලීසියේ වාර්තාවන් සලකා බැලූ අධිකරණය ඒ සදහා තාවකාලික නියෝගයක් නිකුත් කරමින් ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක්ද පවත්වා ගෙන යාමට තීරණය කොට තිබේ.

පසුගිය සතියේ දකුණේ සිංහල දේශපාලනඥයින් පිරිසක්,පුරා විද්‍යා නිලධාරීන් පිරිසක්  හා විද්වතුන් පිරිසක් මුලතිව් පළාතේ සංචාරය කරමින් පුරා වස්තු පිළිබදව අධ්‍යයනයක්ද සිදු කළේය.

මුලතිව් බලා ගිය පිරිස තැන තැන ඇවිද මුලතිව් පළාතේ පුරාවස්තු වලට විශාල හානියක් සිදුවන බවට ජනමාධ්‍ය වලට ප්‍රකාශ ලබා දෙමින් අලසව සිටින අතර තුර කුරුදුමලේ බෞද්ධ නටබුන් හා පුරාවස්තු ඇති ස්ථානයේ හින්දු කෝවිලක් ඉදිකොට හින්දු කෝවිලේ පොංගල් උත්සවයක් පැවැත්වීමට තරම් හින්දු බැතිමතුන්ට ශක්තියක් ලැබී තිබේ.

(දිනසේන රතුගමගේ)


No comments:

Powered by Blogger.