මහින්ද – මෛත්‍රී එකතු කරන රහස් සැළැස්ම නිසා පක්ෂ දෙකම දෙදරයි





















ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර එකඟතාවක් ඇති කිරීම සඳහා වන උත්සාහයට ඒකාබද්ධ විපක්ෂයෙන් මෙන්ම නිදහස් පක්ෂ මෛත්‍රී හිතවාදී ජ්‍යෙෂ්ඨයන්ගෙන්ද ප්‍රබල විරෝධයක් එල්ල වී ඇතැයි
වාර්තා වෙනවා.

මෛත්‍රී මහින්ද එකඟතාවක් ගොඩනැගීම සඳහා 16 කණ්ඩායමේ පිරිසක් සහ පොහොට්ටු කණ්ඩායමේ පිරිසක් රහස් සාකච්ඡා අරඹා ඇත්තේ මෙයට මාසයකට පමණ පෙරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මහින්ද රාජපක්ෂගේ සොහොයුරාගේ අවමංගල්‍ය සඳහා මැදමුලනට ගිය ගමන ද මෙම කතාබහේම ප්‍රතිඵලයක් බව මෛත්‍රී හිතවාදීන් පවසනවා.

මහින්ද – මෛත්‍රී සමගි කොට සුදුසු පරිදි තනතුරු බෙදාගෙන ජනපතිවරණයට ඉදිරිපත්වීමට අදාළ කතාබහ ගෙනයන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා යන දෙදෙනා ප්‍රමුඛ ශ්‍රීලනිප මන්ත්‍රීන් සිව් දෙනෙකු බවයි වාර්තා වන්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ ද ඔවුහු පසුගිය සතියේ මේ ගැන තීරණාත්මක සාකච්ඡාවක නිරත වී ඇති බව සඳහන්.

එහෙත් එම කතාබහ තීරණයකින් තොරව හමාර වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් ගණනාවක්ම පොහොට්ටුවෙන්ම ජනාධිපති ධුර අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි දැඩි ස්ථාවරයක් දැරීම නිසායි.

මහින්ද රාජපක්ෂ ද එම මතයට සහය පළකර ඇති බව වැඩිදුරටත් වාර්තා වූවා.

ඒ අතර නිදහස් පක්ෂය සහ එජාපය නැවතත් පොදු පෙරමුණක් ලෙස තරග කළ යුතු යන මතය නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවාදී මන්ත්‍රීවරු තරයේම ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා එජාපය සමග සාකච්ඡා ද පවතින බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ ආකාරයට එජාපය සමඟත් මහින්ද හිතවාදීන් සමඟත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් දෙපිරිසක් පවත්වාගෙන යන සාකච්ඡාවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි තවමත් පැහැදිලි නැතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.

No comments:

Powered by Blogger.