කෝ මේ විජයකලා මේක පොඩ්ඩක් කියවන්න





















හැම ඉරිදා දවසකම යාපනය පොන්නාලෙයි කෝවිලට යන ඇල්ෆ්‍රිඩ් දොරේ අප්පාව කාලයක් සිට ප්‍රභාකරන්, උමා මහේෂ්වරන්, සෙල්ලක්කලි, සීලන්, කිට්ටු යන එල්.ටී.ටී.ඊයේ ආරම්භක සාමාජිකයන් විසින් ලුහුබඳිනු ලැබුවේය. 1975 ජුලි මාසයේ 27 වැනිදා පොන්නාලෙයි කෝවිලට ගොස් දෙවියන්ගේ ආශීර්වාදය ලබා පැමිණි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාට වෙඩි තබා මරා දැමුවේ ප්‍රභාකරන්ලාය.

දොරේ අප්පාව මරා දමන්නට කලින් දවසේ ගිනි
අවියක් අරගෙන රසායනික ද්‍රව්‍ය මූනිස්සම් හා ගිනි පෙට්ටි බණ්ඩලයක් අරගෙන ඇවිත් උණ්ඩ සෑදුවේය. ඉස්කෝලේ යන කාලේ සිට කැටපෝල් සාදා සතුන්ට විද මරා සතුටක් ලැබූ ප්‍රභාකරන්ගේ අතින් දේශපාලනික මනුස්ස ඝාතනයක් සිදුවෙන්නේ මේ සාදාගත් උණ්ඩවලිනි. යාපනය ජනතාවට විශාල සේවයක් කළ, බොහොම සුහදශීලී ජනතාව අතර ආදරයක් දිනාගෙන සිටි සාමයට ලැදි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාව ඝාතනය කර ජාතිවාදයට බෙදුම්වාදයේ මුල්ම සන්නද්ධ වෙඩිල්ල පත්තු කලේ ප්‍රභාකරන්ය.

වර්තමාන යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයකදී විදේශ ඇමති තිලක් මාරපන වගේම ස්වදේශ ඇමති වජිර අබේවර්ධන ඉදිරිපිටදීම අමුතු කතාවක් පසුගියදා පැවසූවාය.

"අවුරුදු 06 ළමයෙක්ව දූෂණය කරලා මරලා තියෙනවා. අපි ජනාධිපතිතුමාව පත්කළේ ඇයි කියලා හිතෙනවා. එතුමා පක්ෂය ගැන හිතනවා මිසක් අපේ ජනතාව ආරක්ෂා කරන්නේ නෑ. නිදහසේ පාරේ යන්න ඕන නම් එල්.ටී.ටී.ය යළි අත ඔසවන්න ඕන."

මේ විජයකලාගේ කතාවය. ඇයට එදා එල්.ටී.ටී.ඊ සංවිධානය කරපු කියපු දේවල් මතක නැත. මන්දයත් එල්.ටී.ටී.ඊ.ය ආරම්භක කාලයේ විජයකලා හිච්චි කෙල්ලකු වෙන්නට ඇත. දොරේ අප්පා කියන්නේ ඔවුන්ගේම ජාතියේ කෙනෙකු බව විජයකලාට අමතක වී ඇත.

චෙල්වනායගම්ලා, පොන්නම්බලම්ලා සමස්ත ද්‍රවිඩ ප්‍රජාව එකතු කර ගනිමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට කටයුතු කළේය. ඔවුන් දෙමළ ජනතාව එකතු කර ගනිමින් විරෝධතා හර්තාල් දියත් කළේය. හැබැයි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් කළේ වෙනත් දෙයකි. 1985 ආරම්භය දක්වාම ප්ලොට්, ටෙලෝ හා එල්.ටී.ටී.ය යාපන අර්ධද්වීපයේ සමාන බලයක් ඇතිව සිටියහ.

අනුරාධපුරේ ශ්‍රී මහා බෝධියට එල්.ටී.ටී.ඊ.මන්නාරමේ නායක වික්ටර්ගේ ප්‍රධානත්වයෙන් කළ පහරදීම හා ජන සංහාරයෙන් පසුව එල්.ටී.ටී.ය එම සංවිධාන අතර ප්‍රධාන තැනට පත්විය. 1986දී ඔවුන් ටෙලෝ කණ්ඩායමට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර සතියක් වැනි කාලයක් ඇතුළත ටෙලෝ සාමාජිකයන් 100කට අධික පිරිසක් ඝාතනය කළේය. ඒ වගේම ටෙලෝ නායක සභාරත්නම්ද මරා දැම්මේය. එල්.ටී.ටී.ය තමන්ට එරෙහි වන සිවිල් වැසියන්ද අමු අමුවේ ඝාතනය කළේය. උතුරේ දෙමළ සටන්කරුවන් අතර භේද උත්සන්න වෙද්දී රජිව් ගාන්ධි දේශපාලන විසඳුමක් ඇති කරවන්නට ඉන්දීය රජයේ අමාත්‍යවරයකු වූ සිදම්බරම් ලංකාවට එව්වේය. නමුත් ඔවුන් දේශපාලන විසඳුම් පයිසෙකට ගණන් ගත්තේ නැත.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මාලදිවයින බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොලේ නවතා තිබූ එවකට එයාර් ලංකා සමාගමට අයත් ට්‍රයිස්ටාර් යානාවක් පුපුරවා දැම්මේය. ලක්ෂ්මන් කදිරගාමර්, තිරුචෙල්වම්, රජිනි තිරාණගම වැනි තමන්ගේම වර්ගයේ උගතුන්, දේශපාලන නායකයන් මරා දැම්මේය. සාමයට ලැදි ද්‍රවිඩ ජාතිකයන් හා සාමාන්‍ය ජනතාව අමු අමුවේ මරා දැම්මේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට කිරි පොවා හදා ගත්තේ ඉන්දිරා ගාන්ධිය. ඉන්දීරාගේ පුත් රජිව් ගාන්ධිද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නේය. 1987දී වඩමාරච්චි මෙහෙයුම හෙවත් ඔපරේෂන් ලිබරේෂන් නවත්වන්නට කටයුතු කළේද ඉන්දියාවේ එවකට අගමැතිව සිටි රජීව් ගාන්ධිය. මෙච්චර උදව් කරපු රජීව් ගාන්ධිව ඝාතනය කළේද මේ එල්.ටී.ටී.ඊ සංවිධානයයි.

රජීව් ගාන්ධිව මෙන්ම, ආර්.ප්‍රේමදාස, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, ජී.ඇම් ප්‍රේමචන්ද්‍ර, ඔසී අබේගුණසේකර වගේ නායකයන්ව එල්.ටී.ටී.ඊය විසින් මරා දමන ලදී. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාති භේදයකින් ආගම් භේදයකින් තොරව ඔවුන් මරා දැම්මේය. ඔවුහු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ජනතා ජීවිත විනාශ කළහ. ජන සංහාර කළහ. රටේ ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කර රටේ ආර්ථිකය මරා දමන්නට එල්.ටී.ටී.ඊය කටයුතු කළේය. ලෝක උරුමයන් විනාශ කළහ. ලොව කාගේත් ගෞරවයට පාත්‍ර වූ දළදා මාලිගයට ප්‍රහාර එල්ල කළේය. මේවා අද හැමෝටම අමතක වී තිබේ.

විජයකලා මෙහිදී ,අපේ ළමයින්ව බේරගන්න එල්.ටී.ටී.ඊය ඕනෙයි" යැයි කීවාය. හැබැයි ළමා සොල්දාදුවන් යුද්ධයට යැව්වේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් බව විජයකලාට අමතක වී තිබේ. එදා උතුරේ අම්මලා තාත්තලාගේ සෙවණෙහි උන්නු දරුවන් බලෙන් උදුරාගෙන එහෙමත් නැත්නම් කුදලාගෙන ගොස් ත්‍රස්තවාදී සංවිධානයට බඳවා ගත්තේ එල්.ටී.ටී.ඊය බව විජයකලාට අමතක වී ඇත.

අපිට සංහිදියාව හොඳටම තිබෙන බව කිවයුතු නැත. හැබැයි මේ සංහිඳියාව නැති කර දමන්නේ විජයකලා, පොන්නම්බලම්ලා වැනි අඥාන දේශපාලඥයන් වගේම NGO කාරයෝ ටික බව ආපහු මතක් කළ යුතුය. අපිට යුද්ධයක් අවශ්‍ය නැත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අප සංහිඳියාවෙන් ජිවත්වීමට කැමතිය. යහපාලනයටත් කැමතිය. නමුත් ත්‍රස්තවාදීන්ට නැවත එන්නට අත උස්සන්න කියනවා නම් එතැන ප්‍රශ්නයක් ඇත.

විජයකලාගේ මේ ප්‍රකාශය ගැන කථානායක කරු ජයසූරිය විනය පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කර තිබේ. එල්.ටී.ටී.ඊය කළේ බෙදුම්වාදය ජාතිවාදය වැපිරීමය. ඒ වගේම රටේ භෞමික අඛණ්ඩතාවය නැති කිරීමට උත්සාහ කිරීමය. විජයකලා නැවත පණ පොවන්නට හදන්නේ බෙදුම්වාදය වපුරපු ත්‍රස්තවාදී කණ්ඩායමකටය.

1983 අගෝස්තු 08 වැනිදා ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථා සංශෝධනයක් (6 වන සංශෝධනය) සම්මත කර ගත්තේය. ඒ අනුව මන්ත්‍රීවරුන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සහාය නොදෙන බවට ප්‍රතිඥා දිය යුතු විය. එවකට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අමිර්තලිංගම් හා එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම දිවුරුම් නොදීම හේතුවෙන් පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය. මෙය කරු ජයසූරියට කරන මතක් කරදීමකි.

අපි දශක තුනක් තිස්සේ යුද්ධයෙන් බැට කෑවා හොඳටම ඇතිය. දැන් යුද්ධය අවසන් කර සාමය උදා වී ඇත. ලබා දුන් සාමය රැකගෙන රටක් විදියට ඉදිරියට යෑම වැදගත්ය. නමුත් සාමයට බාධා කරන දේශපාලඥයන් අතුගා දැමීම රටේ නායකයන්ගේ වගකීමය.

නිපුන් ඒකනායක


No comments:

Powered by Blogger.