ජනපතිට ප්‍රහාරයක් එල්ල කරමින් ෆොන්සේකා වැඩ අරඹයි සජිත්ටත් ෂොට් එකක් දෙයි





















මෙවර කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා දුන්නේ විදේශීය රටවල ආකල්පයන් ද සලකා බැලීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට පැවැසී යැයි වනජීවී සහ ප්‍රාදේශීය
සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අගමැතිවරයා නිර්දේශ කරන ලද්දේ තමන්ව බවත් එය නොලැබුණේ ජනාධිපති සිරිසේන මහතාගේ විරෝධය නිසා බවත් ඇමැතිවරයා කියයි.

හමුදාපති ධුරය දැරූ බැවින් තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදෙන ලෙස විදේශීය රටවලින් ඉල්ලීමක් තිබූ බව ඒ පිළිබඳව සිදු කළ විමසීමකදී ජනාධිපතිවරයා තමන්ට පැවැසී යැයි ෆොන්සේකා මහතා කියා සිටී. විදේශීය ආකල්පවලට යටත් වෙමින් රට කරවන නායකයකුව පත්කර ගැනීම ගැන තමන් මේ මොහොතේ කනගාටු වන බවද ඇමැතිවරයා පවසයි.

ඔහු මෙසේ සඳහන් කළේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු දැයි ඇතැමුන් තමන්ගෙන් විමසන බවයි. ප්‍රශ්නයට නියම පිළිතුර ලබා දුන්නොත් සජිත් ප්‍රේමදාස තමන්ගේ පරම හතුරකු වනු ඇතැයිද එබැවින් එයට උත්තර නොදී සිටීමට වගබලා ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වනජීවී අමාත්‍ය ධුරය හිමිවීම ගැන සතුටු විය යුතුව ඇතැයිද කැලේට ගොස් මත්පැන් පානය කොට ගීත ගයා නැටීමට කැමැති අයට ඒ සඳහා වෙනම වන අඩවියක් වෙන්කර දීමට හැකි බවද හෙතෙම පවසයි. යාල වැනි ජාතික වනෝද්‍යානවලට යන ඇතැම් සංචාරකයන් මත්පැන් බී සතුන්ට පීඩා වන අයුරින් හැසිරෙන බව දැන ගැනීමට ලැබුණු බවත්, එවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවැතුණහොත් වනෝද්‍යානවලට මත්පැන් රැගෙන යෑම තහනම් කරන බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

- මවුබිම



No comments:

Powered by Blogger.