රනිල්-රවි ජාතිය ඇමැතුව වගේ බැඳුම්කර මාමා,බෑණා දෙන්නත් ජාතිය අමතයි ?





















රවි කරුණානායක බැඳුම්කර මගඩිය සම්බන්ධව වරක් ජාතිය අමතා ගොස් පිටුපස අසුනක හිඳගත් බවත් යළි නැවතත් ජාතිය අමතන අතර ජාතිය ඇමැතීමට තවත් ඉතුරුව ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පවසයි.

ඔවුන් දෙදෙනාටත් ජාතිය ඇමැතීමේ අවස්ථාව සලසා දුන් අනතුරුව ඔවුන් ජාතියම එකතු වී අමතනු ඇතැයි හෙතෙම පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (23දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

මහ බැංකු කොමිසමේ සාක්ෂිකරුවෙක් වෙච්ච අගමැතිතුමාගෙන්ම ජනාධිපති ඉල්ලනවා සහාය දෙන්න කියලා. කකුලෙන් අදින්න එපා කියලා. චෝදනාවට ලක්වූ පුද්ගලයන්ගෙන්ම ඉල්ලනවා මට නීතිය ක්‍රියාත්මක කරන්න සහාය දෙන්න කියලා. ඒක කෙතරම් හාස්‍යජනකද?

ආර්ථිකය ආපස්සට ගියා කියලා ජනාධිපතිතුමාම පිළිගැනීම සතුටක්. ආණ්ඩුව කිව්වේ ආර්ථිකය දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන කියලනේ. නමුත් අවුරුදු තුනක් තිස්සේ ෆේල් කියන එක අද ජනතාව ඉදිරියේ ජනාධිපතිතුමා කියලා තියෙනවා. අපි මේ අවුරුදු තුන තිස්සේම කියපු කතාව අද ජනාධිපතිතුමාම කීම සතුටක්. අපි ජනාධිපතිතුමාට කියනවා පෙබරවාරි 10 වැනිදාට කලින් මොකක් හරි වැඩක් පෙන්නන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා.

මහ බැංකුව කඩලා රජ කරන්න පුළුවන්, විදුහල්පතිනියක් දණගස්සලා මහ ඇමැතිකම් කරන්න පුළුවන් කාලයක් මේක. අද වෙන්නේ ගමේ නාට්‍යයක් රඟ දැක්වීමක් වගේ වැඩක්. වීරයා කඩුව අරන් එනවා. දුෂ්ටයා හෙල්ල අරන් එනවා. ප්‍රේක්ෂකයො බලන් ඉන්නවා වීරයයි
දුෂ්ටයයි අතර දැවැන්ත සටනක් සිද්ධවෙයි කියලා. ටිකක් වෙලා යද්දි වේදිකාවේ කරන්ට් එක යනවා. ඒ අස්සේ කවුදෝ කෙනෙක් ටෝච් එකක් ගහනවා. ගහපුවහම දුෂ්ටයා පෙට්රල් මෙක්ස් එක අල්ලන් ඉන්නවා. වීරයා හුළං ගහනවා. ඒ වගේ නාට්‍යයක් තමයි මේක.

උෟවේ මහ ඇමැතිවරයා විදුහල්පතිනියක් දණගැස්සුවා යැයි කියා විශාල විරෝධයක් ඇති වුණු වෙලාවක් මේ. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී පසුගිය ආණ්ඩුවට තිබුණු චෝදනාවක් තමයි එහි පළාත් සභා මන්ත්‍රිවරයකු විසින් ගුරුවරියක් දණගැස්සුවයි කියන එක.

ගුරුවරිය දණගැස්සුවයි කියලා ආපු අය විදුහල්පතිනියක් දණගස්වන තත්ත්වයට අද පත්වෙලා. මහ ඇමැති කෙනෙක් විදුහල්පතිනියක් දණගැස්සුවහම ගන්නා ක්‍රියාමාර්ග මොනවද? ගුරුවරිය දණගැස්සුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව සංවිධායක. විදුහල්පතිනිය දණගස්වපු කෙනා මහ ඇමැති. දෙන්නම ආණ්ඩුවේ.
මේ කෙනා මහ ඇමැති ධුරයේ ඉන්නකන් පරීක්ෂණයක් පැවැත්වෙයි කියලා කාටද විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිගෙ කඩුව හරියට මුවහත් නම්, හරියට කැපෙනවා නම් ඒක හොඳට වනන්න පුළුවන් නම් ඔන්න අවස්ථාවක් තියෙනවා.

No comments:

Powered by Blogger.